මහා ශිව රාත්‍රී දිනය අදයි.
මෙය හින්දු බැතිමතුන් වෙනුවෙන් වෙන් ව ඇති දිනයකි. සෑම චන්ද්‍ර මාසයකම 13 වන රාත්‍රිය එනම්, 14 වන දිනය ශිව රාත්‍රී දිනයක් ලෙස සැලකෙන අතර සෑම වසරකම ශීත සෘතුව අවසානයේ ගිම්හාන සෘතුව ආරම්භයට පෙර යෙදෙන ශිව රාත්‍රී දිනය, මහා ශිව රාත්‍රී දිනය ලෙස සලකනු ලැබේ. ශිව දෙවියන්ට පුද පූජා පවත්වන ධාර්මික මංගල්‍යය ලෙස හඳුන්වනු ලැබේ. ශිව දෙවියන් සිහි කරමින් රාත්‍රී නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුදපූජා පැවැත්වීමෙන් විමෝක්ෂය ලැබෙන බව හින්දු බැතිතුන්ගේ විශ්වාසයයි.
මහා ශිව රාත්‍රී දිනය නිර්මාණය වූ ආකාරය පිළිබඳව හින්දු ආගමික ඉතිහාස දේව කතාවල අන්තරගත වන්නාවූ මති මතාන්තර කිහිපයකි.
ශිව දෙවියන්ගේ දෙවන බිසව වන පාර්වතී තම අත්වලින් ශිව දෙවියන්ගේ දෑස් වැසූ බවත් එවිට මුලු ලෝකයම අන්ධකාරයෙන් වැසී ගොස් ජීවීන් පීඩාවට පත් වූ බවත් ඉන් එක් මතයකි. අනතුරුව සෙසු දේවතාවන් ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වූ බවත් ඒ නිසාවෙන් අඳුර දුරු වී ආලෝකය උදා වූ බවත් කියැවේ. එතැන් පටන් එම දිනය ශිව රාත්‍රී යනුවෙන් වහරනු ලැබේ.
මහා ශිව දෙවියන්ගේ නර්තනය සිදු වූ රාත්‍රිය ද මෙදින බව හින්දු බැතිමතුන් විශ්වාස කරනු ලබයි.
මෝහාන්ධකාරය දුරු වී නුවණ නැමති ආලෝකය දැල්වේවා’ යි ප්‍රාර්ථනයෙන් යුතුව අද රාත්‍රිය පුරා හින්දු භක්තිකයන් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙයි. ශිව දෙවියන් උදෙසා ශිව මන්ත්‍ර ගායනා කිරීම ද හින්දු නිවෙස්වල අනිවාර්ය අංගයකි. එසේම හින්දු දේවාල කරා ගොස් ශිව ලිංගය කිරිවලින් නැභැවීම ද අද දිනයේ කරනු ලබයි.
හින්දු ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් දිනයක් වන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් YAN Sri Lanka තරුණ ජාලය ද සුබ පැතුම් එක් කරනු ලබන්නේ, අද දිනය පුරාවට සිදුකරනු ලබන අනේකවිධ ආගමානුකූල ක්‍රියාවලින් ඔවුන් අපේක්ෂා කරන විමෝක්ෂය ලැබේවා’ යි පතමිනි.
Add comment