YAN Sri Lanka

කොරෝනා තර්ජන මැද සැමරෙන රාමසාන්

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව බහුවිධ සංස්කෘතීන්ගෙන් සුසැඳි රටකි. එම බහු සංස්කෘතීන් අතර ඉස්ලාම් ආගම නියෝජනය කරන මුස්ලිම් ජනතාවට අදට යෙදී ඇති රාමසාන් දිනය ඉතාමත් සුවිශේෂී වේ. භක්තිය පෙරදැරි කොටගෙන ආසාවෙන් සැදී පැහැදී තම චාරිත්‍ර වත් පිළිවෙත් නොඅඩු කොට පුරන්නට ඔවුන් පේවී සිටින ආකාරය ඔබ දැක ඇත. එ නමුත් පසුගිය වර්ෂයේ මෙන්ම මෙම වර්ෂයේ දී ද මුස්ලිම් ජනතාවට හිතේ හැටියට සන්තෝෂයෙන් තම රාමසාන් උත්සවය සැමරීමට කොරෝනා වසංගත තත්ත්වය දැඩි අවහිරයක් වී තිබේ. එනමුත් තමන්ට හැකි පමණින් ඒ වෙනුවෙන් තම උපරිම සාධාරණය ඉටු කරන්නට ඔවුන් උත්සාහවන්ත වන ආකාරය තුළ ආගමට දක්වන ලැදියාව කොයිතරම් දැ’යි කැපී පෙනේ.

ඔබත්, මමත් ඉතා හොඳින් අසා ඇති රාමසාන් උත්සවය පිළිබඳ නියමාර්ථයෙන් විමසා බලමු.

මුස්ලිම් ජනතාව වසරක් පාසා සමරනු ලබන රාමසාන් යනු දින 30ක් පුරාවට නිරාහාරව සිටීම,ස්වයං විනය පුහුණු කිරීම සහ යාඥා කිරීමේ ශුද්ධ මාසයයි.ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරාණය පිළිබඳ මුහම්මද් තුමන්ට මූලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස එය සමරනු ලැබේ. මෙම රාමසාන් දිනය ඉස්ලාමීය චන්ද්‍ර කැලැන්ඩරය හා සම්බන්ධ වන අතර නව චන්ද්‍රයා දැකීම තුළින් නිශ්චිතවම රාමසාන් මාසය පටන්ගන්නා දිනය තීරණය වෙයි.

නෝම්බි ඇල්ලීම යනු,

රාමසාන් කාලය පුරාවට සිදුවන වත් පිළිවෙත් අතරින් නෝම්බි ඇල්ලීමට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.මෙම චාරිත්‍රයේ දී දිනපතා හිරු උදාවට පෙර තම පළමු ආහාර වේල අනුභව කරන මුස්ලිම් බැතිමතුන් යළි හිරු බැසයන තුරුම කිසිදු පානයක් හෝ ආහාරයක් අනුභව නොකරයි.තවද එම කාලය තුළ කෙළ බිඳක්වත් ගිලෙන්නේ නැත.දුප්පතාගේ කුසගින්න හඳුනාගැනීමත්,ආත්ම දමනයත් ඉන් බලාපොරොත්තු වේ.එම ආත්ම දමනය තුළින් දෙවියන් කෙරේ අවධානය වැඩි වන බවත්,එතුළින් මානසික පාරිශුද්ධිය ලබා ගත හැකි බවත් තවදුරටත් ඔවුන්ගේ විශ්වාසයයි.

රාමසාන් කාලය තුළ ඉතාමත් භක්තිමත් ව චාරිත්‍රයන් හි නියැලෙන මුස්ලිම් ජනතාව දුම්පානය සහ පසිඳුරන් පිනවීම වැනි ක්‍රියාවලින් මුලුමනින්ම මිදී සිටීමට වග බලාගනී. වැඩි වශයෙන් යාඥා කටයුතුවල නියැලෙන අතර දානමාන දෙමින් අසරණ ජනතාව සමග සුහදශීලි ලෙස බෙදාහදා ගැනීම් කරමින් ඔවුන්ගේ දුක තමන්ගේ කරගනිමින් පිහිට වේ. හවස් වරුවේදී ඉස්තාර් ආහාර වේල ගනිමින් නෝම්බි ඇරීම සිදුකරන අතර එම ආහාර මංමාවත් දෙපස කුඩා කඩවල විකිණීමට ද සාදා තිබෙන අන්දම අපට දැකගත හැකිය. මිත්‍රත්වයේ නාමයෙන් සිංහල ජනතාව ද ඉතාමත් ආශාවෙන් ඒවා මිළදී ගෙන රස බලන ආකාරය ප්‍රීතියට කරුණකි.

රාමසාන් උත්සවය,

දින 30ක් පුරාවට පෙර සඳහන් කළ ආගමික වත් පිළිවෙත් පුරා,අවසානයේ මෙම රාමසාන් උත්සවය සමරනු ලබයි. පවුලේ සියලු දෙනා එකට එක්වී තෑගි භෝග හුවමාරු කරගනිමින් සතුටු වන දිනයකි. සිංහල අප ද මුස්ලිම් මිතුරු මිතුරියන්ගේ නිවෙස්වලට ගොස් රස බොජුන් සමග විශේෂයෙන් වටලප්පන් වල රස බැලීමට මග බලා සිටින්නේ මහත් ආශාවෙනි. එනමුත් ගියවර සේම මෙවර ද පවතින කොරෝනා භීතියත් සමගින් සියල්ලෝම නිවෙස්වලට වී තම ආරක්ෂාව සලසා ගැනීම වෙහෙසන බැවින් මුස්ලිම් මිතුරු මිතුරියන්ගේ සවාන් බුරියානි භෝජනයේ රස බැලීමට ලබන වසරේ හෝ ඉඩ ලැබේවා’යි එක සිතින්ම පතන බව නොඅනුමානය. පවතින අවදානම් සහගත තත්ත්වය තුළ අවබෝධය සහ විශ්වාසය පෙරදැරි කොටගෙන ඔවුන් හා සතුට සැමරීමට නොහැකි වීම උපේක්ෂාවෙන් විද දරාගැනීමට අප සිත දැඩි කරගත යුතුය.

නෝම්බි අල්ලන දා පටන් රාමසාන් උත්සවය දක්වාම මුස්ලිම් ජනයාගේ වත් පිළිවෙත් පිරීමට දරන සුන්දර කැපකිරීම ආත්ම දමනය වෙනුවෙනි. අනෙකුත් ජාතීන් හා සුහදව කෑමබීම හුවමාරු කරගනිමින් සතුටු වීම තුළ සුහදශීලි බව ඔප්නංවා ගැනීමට කටයුතු කරන ආකාරය ශ්‍රී ලාංකික වන අපට ප්‍රීතියට කරුණකි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය සමගින් රාමසාන් උත්සවය සැමරීමට හැකි උපරිමයෙන් තම යුතුකම ඉටුකරන මුස්ලිම් ජනතාවට,උදාවූ රාමසාන් දිනයත් සමගින් රෝග පීඩාදිය දුරුවී වසන්තය උදාවේවා’යි YAN SRI LANKA තරුණ ජාලයේ අපි සුභාශිංසන පතමු.

Laksaree Gunawardhana

Add comment

Recent Actions